මනුෂ්‍යත්වය නගාසිටුවීමට එක්ව ක්‍රියා කරමු

November 15, 2019
1,011 Views

– සලාමා සොසයිටි හි සභාපති : ආසාද් අබ්දුල් මුඊද්

රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමේ කර්තව්‍යයේ සලාමා හි සහයෝගය හා දායකත්වය දෙගිඩියාවෙන් තොරව ප්‍රමුඛව ලබාදෙන බව අප කවුරුත් දන්නා කරුණකි. සලාමා සොසයිටි හි සාමාජිකයින් වන ඔබ සියලුදෙනා සමාජයේ වැදගත් ක්‍රියාවක් ඉටු කළ යුතුයි. “අන්තවාදි නොවන මධ්‍යස්ථභාවයකින් යුක්ත සමාජයක් බිහි කිරීමේ ලා ඔබේ සම්පූර්ණ දායකත්වය ලබාදිය යුතුයි” යන්න සලාමා සොසයිටි හි මංගල වාර්ෂික මහා සභා රැස්වීමේ දී සභාපති ආසාද් අබ්දුල් මුඊද් තුමාගේ ඉල්ලීම විය.

පසුගිය 09/11/2019 දින සලාමා සොසයිටි හි මහා සභා රැස්වීම කොළඹ අල්-හිදායා විදුහල් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එහි දි සාමාජිකයන් 150 ට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වූ අතර පසුගිය වසරේ රටේ යහපත හා සමාජයේ යහපත ඉලක්ක කොටගෙන සිදුවුණු කාර්ය්‍යන්, කැපකිරීම්, ප්‍රයත්නයන් හා ජයග්‍රහණයන්හිදී මුහුණ දුන් අභියෝග අඩංගු වාර්ථා ඉදිරිපත් කරන ලදි. එසේම අනාගතයේ ගතයුතු ක්‍රියා සැලසුම් පිළිබඳව ද සාකාච්ඡාවක් සිදුවිණි.

සලාමා හි සභාපතිතුමා තවදුරටත් පවසා සිටියේ රටක කීර්තිය රඳා පැවත්මටත් අභිවෘද්ධිය ඇතිවීමටත් රට සංවර්ධනය වීමටත්, මහජනතාව සැනසීමෙන් ජීවත් වීමටත් එහි ආරක්ෂාව බෙහෙවින් බලපාන්නේය. නමුත් රටක ආරක්ෂාවට වින වීමක් යන්න යථෝක්ත කරුණු සියල්ලටම වින වීමක්ය. මෙම කරුණ මුල්කොටගෙන රටේ ආරක්ෂාවට සුවිශේෂී වූ වැදගත්කමක් ඉස්ලාම් දහම ලබාදෙන වග අල් කුර්ආන් වදන් ඔස්සේ නිදසුන් දක්වමින් එතුමා පෙන්වා දුන්නේය.

තවද සලාමා සොසයිටි සමාජයටත්, දේශයටත් ඉටුකළ සේවාවන් පිළිබඳ එතුමා සඳහන් කළේය. විශේෂයෙන් සෑම සලාමා සාමාජිකයෙකුම තම ප්‍රදේශයේ සමාජ සේවා කටයුතු වල නිරත වන ප්‍රජාවන් ලෙස සිටිනා වග ද ඉස්ලාම් දහමේ අගනාකම් සුරකිමින් වාසය කරන පවුල් සංස්ථාවලියක් බිහි කිරීමේ ලා අවධානය යොමු කරනා වග ද ඉස්ලාම් දහමේ මධ්‍යස්ථ චින්තනය සමාජයට ඉදිරිපත් කිරීමට ක්‍රියා කරන වග හා සහජීවන ව්‍යාපෘතිවලදී වැදගත් සුවිශේෂී වූ දායකත්වයක් ජාතික මට්ටමෙන් ලබා දුන් වග ද එතුමා පෙන්වා දුන්නේය.

සමාජයේ අනෙකුත් සිවිල් සංවිධාන හා තනි පුද්ගලයින් සමඟ එක්ව ක්‍රියා කළෙමු. සත්ක්‍රියා වලදි සහය වූයෙමු. අපගේ ක්‍රියාකලාප මගින් අන්තවාදී චින්තනයෙන් හා වැරදි මතවාද වලින් දහස් ගණන් තරුණයින් ආරක්ෂා කර ඇත්තෙමු. එබැවින් මෙම කර්තව්‍යයන් ඉටු කිරීමට සහය දුන් සියලුදෙනාටම ස්තූති පූර්වක වන අතර සමාජයට හා රටට ඉටුවිය යුතු සේවාවන් අධික බැවින් සියලුදෙනා අඛණ්ඩව තම තමන්ගේ සහයෝගය ලබාදිය යුතුයැයි එතුමා ඉල්ලා සිටියේය.

2019-2023 කාල වකවානුව සඳහා නව පාලක මණ්ඩලයක් තෝරා පත් කර ගැනීම ද එදින සිදුවිය. සලාමා සොසයිටි හි සභාපති ලෙස නැවතත් අෂ්ෂෛක් ආසාද් අබ්දුල් මුඊද් තුමා ම තේරිපත් වුණ අතර උප නායකවරුන් ලෙස අෂ්ෂෛක් එම්. ජී. රයීසුල් ඉස්ලාම් තුමා සහ එස්. නිහාස් තුමා යන අය තේරී පත්වූවෝය. ලේකම් වශයෙන් එම්.එෆ්.එම්. ෆාහිම් තුමා පත් වුණ අතර භණ්ඩාගාරික වශයෙන් එම්. නියාස් මොහිදීන් තුමා තේරී පත් වුණේය. පාලක මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් ලෙස අෂ්ෂෛක් ඒ.ඩබ්.එම්. බාසිර්, අෂ්ෂෛක් එම්.එෆ්. මුහම්මද්, ආර් එම් නයීම්, එම්.එම්.එම් ෆාසිල් යන අය තේරි පත්වුණෝය.

අවසාන වශයෙන් සභාපතිතුමා තම කතා වාරයේ දී 2020 වසර සඳහා සලාමා දින තේමා පාඨය ලෙස මනුෂ්‍යත්වය යන්න තෝරා ඇති බව සභාව ඉදිරියේ ප්‍රකාශ කළේය. මෙරට මනුෂ්‍යත්වය නගාසිටුවීමට සෑම සලාමා සාමාජිකයෙකුම ක්‍රියා කළ යුතු යැයි එතුමා පැවසූ අතර මෙම අරමුණ සාර්ථක කරගැනීම සඳහා ලක්වාසී සියලු ප්‍රජාවන් හා එක්ව කටයුතු කරන ලෙසද එතුමා ඉල්ලා සිටියේය.

        

Leave A Comment