සලාමා සතිපතා සංග්‍රහය 28

October 23, 2026
9 Views

මතභේද සහ සමාජීය එකමුතුකම

උගතුන් අතර ඇති වන මතභේද, සත්‍යය සෙවීමේ පිරිසිදු අරමුණින් යුක්ත වන්නේ නම්, ඒවා දීර්ඝකාලීන බෙදීම්වලට මග පාදන්නේ නැත. නමුත් පෞද්ගලික කැමැත්ත, මනෝ ආශාවන් සහ ස්වාර්ථකාමී අරමුණු ඉස්මතු වන විට, ඒවා සමාජය තුළ බෙදීම් ඇති කරයි.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ඇසුරේ හැදී වැඩුණු සහාබාවරුන් අතරද මතභේද පැවතිණි. පසුව පැමිණි තාබිඊන්වරුන් සහ ඉමාම්වරුන් අතරද මතභේද දක්නට ලැබුණි. නමුත් ඔවුන්ගේ හදවත් පිරිසිදුව පැවතිණි. එක් අයෙක් අනෙකාගේ මතයෙහි ඇති සාධාරණත්වය දුටුවෝය. නම්‍යශීලී වූවෝය.
දැනුමේ විශාලත්වය සහනශීලීබව වර්ධනය කරයි. යහපත් චේතනාව ඉවසීම ඇති කරයි. සැබෑ ඊමානය උම්මතයේ එකමුතුකම ආරක්ෂා කරයි. එබැවින් බෙදීමට මග පාදන මත සහ ප්‍රවේශයන්ගෙන් අප වැළකී සිටිය යුතුය.
අල්ලාහ් මෙසේ පවසයි:
‘තම දහමෙහි බෙදීම් ඇති කරගනිමින්, විවිධ කණ්ඩායම් බවට පත් වූවන් සමඟ ඔබට කිසිදු සම්බන්ධයක් නැත. ඔවුන්ගේ කාරණය අල්ලාහ් වෙතමය. පසුව, ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳව ඔහු ඔවුන්ට දැනුම් දෙනු ඇත.’ (අල්-අන්ආම්: 159)
එබැවින්, අපගේ අරමුණ පිරිසිදු කරගනිමින්, සත්‍යය සෙවීමටත්, මතභේදවලට ගෞරවාන්විතව මුහුණ දීමටත්, මුස්ලිම් සමාජයේ එකමුතුකම ආරක්ෂා කිරීමටත් අප අවධානය යොමු කළ යුතුය.

මුස්ලිම් සමාජය ගොඩනැගිල්ලක් වැනිය

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බවට අබූ මූසා අල්-අෂ්අරි (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කරයි:
‘එක් මුඃමින්වරයෙක් (විශ්වාසවන්තයෙක්) තවත් මුඃමින්වරයෙකුට ගොඩනැගිල්ලක් වැනිය. එහි එක් කොටසක් තවත් කොටසක් ශක්තිමත් කරයි.’ මෙසේ පැවසූ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්, තමන්ගේ ඇඟිලි එකිනෙක පටලවා පෙන්වූහ. (මූලාශ්‍රය: බුහාරි)
ඉස්ලාමය තේරුම් ගැනීමේදී විවිධ මතවාදයන් මතුවීම ස්වාභාවිකය. ඉතිහාසයද එයමය. උගතුන් මෙය ආශීර්වාදයක් ලෙස දුටුවෝය. මේවා ඉස්ලාමයේ ඇති පුළුල්භාවයේ ලක්ෂණයකි.
එබැවින් අපව එකතු කරන පාලම බවට ඊමානය (විශ්වාසය) පැවතිය යුතුය. වෙනස් මතවාද දරන ඊමානීය සහෝදරයෙකුට සිදුවන දුක අපටද වේදනාවක් ඇති කළ යුතුය. ඔහුට සිදුවන යහපත අපව සතුටු කළ යුතුය.

සදකා

නබිතුමා ﷺ මෙසේ පැවසූහ: “අල්ලාහ්ගේ සෙවණැල්ල හැර වෙනත් කිසිදු සෙවණැල්ලක් නොමැති මතු දිනක (මහ්ෂර් පිටියේදී), පුද්ගලයින් හත් දෙනෙකුටඅල්ලාහ් සිය සෙවණැල්ල ලබා දෙන්නේය.” ඔවුන් අතරින් එක් අයෙකු වන්නේ, “තම දකුණු අත දෙන දේ වම් අතට පවා නොදැනෙන තරමට ඉතා රහසිගතව දන් දුන් (සදකා කළ) මිනිසාය.”

Leave A Comment