සලාමා සතිපතා සංග්‍රහය 26

October 9, 2026
38 Views

නබිවරු යනු මිනිසුන් අතුරින් ශ්‍රේෂ්ඨතමයන් වේ.

මොවුහු අල්ලාහ්ගේ දූතයෝ වෙති. මොවුන් මිනිස් සමාජයට මඟ පෙන්වන්නන් ලෙස එවන ලදී. නබිත්වය සඳහා තෝරා ගනු ලබන්නන්, ඒ සඳහා සුදුසු විශේෂ ලක්ෂණයන්ගෙන් යුතුව තෝරාගනු ලැබේ. ඔවුන්ගේ හදවත් පවිත්‍ර ය. ඔවුන්ගේ බුද්ධිය සහ පරිණතභාවය පැහැදිලි ය; සත්‍යය වටහා ගැනීමේදී ඒවා අවුලකට පත් නොවේ. මොවුන්ව තෝරා ගනු ලබන්නේ අල්ලාහ් විසිනි.
ඔවුන්ගේ ශරීර නරක රෝග සහ පිළිකුල් සහගත ඌනතාවලින් ආරක්ෂා කර ඇත. තවද, ජනතාව සමඟ ඔවුන් පවත්වන සබඳතාව යහපත, දානය සහ ආදරය මත පදනම් වූවකි.
අල්ලාහ් නබිවරුන්ට උතුම් ගුණාංග, අවංකභාවය, පවිත්‍රතාවය සහ උසස් සදාචාරය ලබා දෙමින් ගෞරව කළේය. මෙයින් එබැවින් ඔවුන් ජනතාවට උතුම් ආදර්ශයන් සහ මාර්ගෝපදේශකයන් වූහ. ඔවුන්ගෙන් පසුව පැමිණෙන ධර්ම ප්‍රචාරකයන්ටද ඔවුහු උතුම් ආදර්ශයක් ලෙස සිටිති.
අල්-කුර්ආනය නබිවරුන් 25 දෙනෙකු පිළිබඳ තොරතුරු සඳහන් කරයි. නම සඳහන් කර ඇති සහ නම සඳහන් කර නොමැති සියලුම නබිවරුන්ගේ නායකයා ලෙස නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වැජඹෙති. සියලුම නබිවරුන් විශ්වාස කිරීම මුස්ලිම්වරයෙකුගේ වගකීමක් සහ යුතුකමක් බව ඉස්ලාමය පවසයි.

සලවාත්හි විශේෂත්වය

මෙය ඉතා පහසු අමලයක් (යහපත් ක්‍රියාවක්) වේ. “කවුරුන් උදෑසන සහ සවස මා කෙරෙහි දස වතාවක් සලවාත් පවසන්නේද, විනිශ්චය දිනයේදී මාගේ ෂෆාඅතය (මැදිහත්වීම) ඔහුට හිමිවනු ඇත” යන නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ සුභ ආරංචිය අබූ දර්දා (රලියල්ලාහු අන්හු) තුමා වාර්තා කරයි. (තබරානි)
මුස්ලිම්වරයෙකු පරලොව ජීවිතය බලාපොරොත්තුවෙන් තම වගකීම් ඉටුකරමින්, පාපයන්ගෙන් මිදී ජීවත් වන අතරම මෙවැනි යහපත් ක්‍රියාවන් ද සිදු කරන විට, විනිශ්චය දිනයේදී නබිතුමාගේ මැදිහත්වීම ලබාගැනීමේ භාග්‍යය අත්කර ගත හැකිය. එම නිසා, නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් කෙරෙහි උදෑසන සහ සවස සලවාත් කීම අපගේ දෛනික පුරුද්දක් බවට පත් කර ගනිමු.

සදකා

නබිතුමා ﷺ මෙසේ පැවසූහ:
“යමෙක් අවංක ලෙස උපයාගත් දෙයින් රට ඉඳි ගෙඩියක් තරම් වූ දෙයක් දන් දුන්නොත්, අල්ලාහ් එය තම දකුණු අතින් පිළිගෙන, එහි අයිතිකරු වෙනුවෙන් එය එසවීම (වැඩීම) කරනු ඇත. අවසානයේදී එය කන්දක් මෙන් වන තෙක්ම.”

Leave A Comment