සලාමා සතිපතා සංග්‍රහය 24

September 24, 2026
63 Views

මුඃමින්වරයෙකු පාපයන් දකින්නේ තමාට අයිති නැති පිටස්තර දෙයක් ලෙසයි

ඊමානය (විශ්වාසය) සහ ක්‍රියාව එකිනෙකට සම්බන්ධ වී ඇත. මෙහි අර්ථය නම් ඊමානය ඇති අයෙකු කිසිවිටෙකත් වැරදි නොකරන බව නොවේ. මුඃමින්වරයෙකුගෙන් ද වැරදි සිදුවිය හැකිය. ඔහුගෙන් සිදුවිය හැකි වැරදි සහ පාපයන් නිසා ඔහු ආගමෙන් (ඉස්ලාමයෙන්) පිටතට තල්ලු වන්නේ නැත.

යම් මිනිසෙකු ඊමානයෙන් ශක්තිමත් වී, අල්ලාහ්ව දැඩි ලෙස මතකයේ තබාගනිමින්, අධික ලෙස නමදින්නෙකු ලෙස සිටින විට, ඔහුගේ වැරදි ඉතා අඩුවෙන් සිදුවේ.

ඔහු තමා අතින් සිදුවන පාපයන් දකින්නේ සාමාන්‍ය නීතියට පටහැනි, තමාගේ ජීවිතයට අයිති නැති දෙයක් ලෙසයි. මෙවැනි තත්වයක සිටින අයෙකුගේ වැරදිවලට සුවිශේෂී ස්වභාවයක් ඇත. ඔහු එම වරද චේතනාන්විතව නොකරයි. එහි දිගටම රැඳී සිටින්නේ ද නැත. එය මත යැපෙන්නේ ද නැත.

ඔහු තමාගේ ගමනාන්තය දෙසට යන අතරමඟදී, තමාගේ ක්‍රියා සහ බලාපොරොත්තු ගැන පමණක් සිතමින් ගමන් කරන මගියෙකු වැනිය. අහම්බෙන් ඔහුගේ පය වලක සිරවුණහොත් හෝ මඟ තිබූ කුඩා ගලක පැටළුණහොත්, ඔහු අසමතුලිත වී බිමට වැටේ. නමුත් වැටුණු වහාම ඔහු නැගිටීමට ඉක්මන් වන අතර, එම පැටළීම නිසා ඇති වූ පීඩාව සහ වේදනාව තදින්ම ඔහුට දැනෙයි.

එලෙසම, මුඃමින්වරයෙකු සිය ගමන් මඟෙහි පැටළීමකින් බිමට වැටුණද, ඔහු අල්ලාහ් දෙසට වන තමාගේ ගමනෙහිම නිරත වී සිටියි. එම වරද තමාගෙන් ඉවත් වන තෙක්, ඔහු එය දිගටම කිරීමට උත්සාහ කරන්නේ නැත. මන්ද ඔහුට ඒ ගැන ගැඹුරු වේදනාවක් දැනෙන බැවිනි. මෙම පැටළීම් මුඃමින්වරයෙකුගේ ජීවිතය හෝ ඔහුගේ ගුණාංග විනාශ කරන්නේ නැත.

වුළූ නිසි ලෙස සිදුකිරීමෙන් ස්වර්ගය හිමිකර ගැනීමේ අවස්ථාව

උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් සිදුකරන ලද වාර්තාවකට අනුව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා මෙසේ පැවසූහ.
ඔබගෙන් කවරෙකු හෝ වුළූ කර එය ඉතා පූර්ණව හා නිසි ලෙස සිදුකර,ල පසුව
أشهد أن لا إله إلا الله وأشهد أن محمدا عبده ورسوله
(අල්ලාහ් හැර අන් දෙවියෙකු නොමැති බවත්, මුහම්මද් තුමා ඔහුගේ ගැත්තා සහ දූතයා බවත් මම සාක්ෂි දරමි)
ලෙස පවසන්නේද, ඔහු උදෙසා ස්වර්ගයේ දොරටු අටම විවෘත කරනු ලැබේ. ඔහු කැමති දොරටුවකින් ස්වර්ගයට ඇතුළු විය හැකිය.

මූලාශ්‍රය – සහීහ් මුස්ලිම්

සදකා

ඔබ අල්ලාහ්ට යහපත් ණයක් ලෙස (ඔහුගේ මාර්ගයේ වියදම් කරමින්) ණය දෙන්නේ නම්, ඔහු එය ඔබට බොහෝ ගුණයකින් වර්ධනය කර දෙනු ඇත; තවද ඔබට සමාව දෙනු ඇත. මන්ද, අල්ලාහ් ඉතා කෘතඥ ගුණැත්තාණන් වන අතර, ඉතා ඉවසිලිවන්තයාණන් ද වේ. (අල්-කුර්ආන් 64:17)

 

 

 

Leave A Comment