මුහම්මද් ﷺ තුමාණන්ට සම කළ හැක්කේ කාටද?
සමස්ත මිනිස් සංහතිය උදෙසාම එවනු ලැබූ ඒ ශ්රේෂ්ඨ දූතයාණෝ, බබළන සියලු යහගුණවල සංගමයක් මෙන්ම මිනිස් මනස මගින් මවාගත් උසස්ම ආදර්ශවල ප්රායෝගික ස්වරූපයක් ද වූහ. පසුව අල්ලාහ් එම ආදර්ශයන්, පොළොව මත ඉතා නිහතමානීව ගමන් කරන මිනිස් රූපයකින් නිර්මාණය කළේය.
ඉතිහාසයේ ඇතැම් නායකයන් තම විශිෂ්ඨ හැකියාවන්ගෙන් සහ ශ්රේෂ්ඨත්වයෙන් ජනයා ආකර්ෂණය කරගනිමින්, ඔවුන්ගේ ගෞරවය හා ආදරය දිනාගෙන ඇත. ඔවුහු තම කාලය තුළ මෙන්ම ඉතිහාසයේ ද නොමැකෙන සටහන් තබා ගොස් තිබේ.
මනුෂ්ය ඉතිහාසයේ වීරයන්ගේ සහ ශ්රේෂ්ඨයන්ගේ ගෞරවයට පාත්ර වෙමින්, ජනයාගේ හදවත් තුළ ගැඹුරුම ආදරය දිනාගත් තැනැත්තාණන් වන්නේ මුහම්මද් ﷺ තුමාණන්ය.
වීරයෝ එතුමාණන්ට ආදරය කළහ; මන්ද යුද බිමේදී ඔවුන්ටත් වඩා වැඩි ධෛර්යයක් සහ නිර්භීතකමක් එතුමාණන් තුළ පැවති බැවිනි.
දේශපාලන හා පරිපාලන හැකියාවන්ගෙන් යුත් අය එතුමාණන්ට ආදරය කළහ; මන්ද එතුමාණෝ නම්යශීලී මෙන්ම සැමටම පහසුවෙන් ළඟාවිය හැකි නායකයෙකු වූ බැවිනි.
පරිත්යාගශීලී දානපතියන් එතුමාණන් දුටු විට, එතුමාණෝ ඔටුවන්ගෙන් සහ එළුවන්ගෙන් පිරුණු නිම්නයක හිමිකරුවෙකුව සිටියහ. නමුත්, එදින ඉර බැස යාමට පෙර, ඉන් වැඩි ප්රමාණයක් උපකාර ඉල්ලා පැමිණි අයට සහ කැමැත්තෙන් පැමිණි අයට දුන් දානයන් හා තෑගි බවට පත්ව තිබිණි.
උතුම් නබි මුහම්මද් ﷺ තුමාණෝ ත්යාගශීලිත්වය, නමස්කාරය, පවිත්රතාවය, වාක්චාතුර්යය (කතාවේ දක්ෂතාවය), ධෛර්යය සහ අනෙකුත් සියලු උසස් ගුණාංගයන්ගෙන් විශිෂ්ටත්වයට පත්ව සිටියහ. එතුමාණන්ගේ ශ්රේෂ්ඨත්වය කිසිවෙකුටත් ළඟාවිය නොහැකි තරම් උසස් මට්ටමක පැවතුණද, එතුමාණෝ ඉතා සරල මෙන්ම දුප්පතුන් සහ වැන්දඹුවන්ද ඇතුළු සැමටම පහසුවෙන් ළඟාවිය හැකි කෙනෙකු වූහ.
එතුමාණන්ගේ ආදරය හා කරුණාව සැමදෙනාම එක හා සමානව වටකර ගෙන තිබූ බැවින්, එතුමාණන්ව හමු වූ සෑම කෙනෙකුටම තමන් එතුමාණන්ට වඩාත්ම ප්රියජනක පුද්ගලයාය යන හැඟීම ඇති විය. සූර්යයා සැමටම එක හා සමානව ආලෝකය සහ රශ්මිය ලබා දෙන්නාක් මෙන්, නබි ﷺ තුමාණෝද තම සගයන් (සහාබාවරුන්) සියල්ලන්ටම ආදරයෙන්, කරුණාවෙන් සහ රැකවරණයෙන් සැලකූහ.
ඔහු මුහම්මද් ඉබ්නු අබ්දිල්ලාහ් ﷺ තුමාණන්ය.
ශ්රේෂ්ඨ පුද්ගලයෙකුගේ සැබෑ ශ්රේෂ්ඨත්වය සම්පූර්ණයෙන්ම වටහාගත හැක්කේ එබඳුම ශ්රේෂ්ඨ තැනැත්තෙකුට පමණි. එසේ නම්, මිනිසුන් අතර මුහම්මද් ﷺ තුමාණන්ට සම කළ හැක්කේ කාටද?
සදකා
නබි ﷺ තුමා මෙසේ පැවසූහ:
“නිසැකවම, සදකා (දානමය දෙය) එය ලබා දුන් තැනැත්තාට මිනීවළේ තාපය සිසිල් කරනු ඇත.
තවද, කියාමත් දිනයේදී, මුඃමින් (විශ්වාසවන්තයා) තම සදකාවේ සෙවණ යටතේ සෙවණ ලබනු ඇත.”





