සලාමා සතිපතා සංග්‍රහය 12

July 3, 2026
44 Views

මනුෂ්‍යයා තමන් ගැන හොඳින් දන්නා අයෙකි

ඔබ හැර වෙන කිසිවෙකු නොදන්නා සැබෑ රහසක් ඇත. එය ඔබත් ඔබගේ දෙවියන් වූ අල්ලාහ්ත් අතර ඇති සබඳතාවයයි. එබැවින් මිනිසුන්ගේ ප්‍රශංසාවලින් රැවටෙන්න එපා, ඔවුන්ගේ දෝෂාරෝපණයන් නිසා ඔබේ හදවත බිඳ වැටීමටත් ඉඩ දෙන්න එපා.

මක්නිසාද ඔබේ සැබෑ වටිනාකම ඇත්තේ මිනිසුන්ගේ දෑස් තුළ නොවේ. එය ඔබේ හදවත තුළත් ඔබ සහ අල්ලාහ් අතර ඇති සබඳතාවය තුළත් පවතී.

අල්ලාහ්ගේ මෙම වදන් සැමවිටම මතකයේ තබා ගන්න:  بَلِ الْإِنسَانُ عَلَىٰ نَفْسِهِ بَصِيرَةٌ

එහෙත් මනුෂ්‍යයා තමන් ගැනම හොඳින් දන්නා අයෙකි.” (අල්-කියාමා: 14)

ඔබ තනිව සිටින විට ඇති ඔබේ තත්ත්වය, මිනිසුන් ඉදිරියේ පෙනී සිටින ඔබේ තත්ත්වයට වඩා යහපත් කරගන්න.

මිනිසුන්ට හොඳ අයෙකු ලෙස පෙන්වීමට වඩා අල්ලාහ් ඉදිරියේ අවංක සහ සත්‍යවාදී අයෙකු වීමට උත්සාහ කරන්න.

තම අභ්‍යන්තරය නිවැරදි කරගන්නා පුද්ගලයාගේ බාහිර ජීවිතයද අල්ලාහ් යහපත් කරයි.

එසේම, අල්ලාහ් සමඟ අවංකව කටයුතු කරන කෙනාට, ඔහුට අවශ්‍ය සෑම දෙයකටම අල්ලාහ් පමණක් ප්‍රමාණවත් වේ.

ලෝකයේ පැරණිතම උසස් අධ්‍යාපන ආයතනය

ලෝකයේ උසස් අධ්‍යාපනය සඳහා පිහිටුවන ලද පැරණිතම ආයතනය වන්නේ අල්-කරවිය්යින් විශ්වවිද්‍යාලයයි. එමෙන්ම, ලෝක ඉතිහාසයේ කාන්තාවක් විසින් ආරම්භ කරන ලද පළමු විශ්වවිද්‍යාලය වීමේ ගෞරවයද එයට හිමිවේ.

මුස්ලිම් කාන්තාවක් වූ ෆාතිමා අල්-ෆිහ්රි (උම්මුල් බනීන්) විසින් ක්‍රි.ව. 859 දී මොරොක්කෝවේ ෆෙස් නගරයේ මෙම විශ්වවිද්‍යාලය ආරම්භ කරන ලදී. ඇයගේ මෙම අතිවිශිෂ්ට සේවය අධ්‍යාපන ක්ෂේත්‍රයේත් ඉස්ලාමීය ශිෂ්ටාචාරයේත් නොමැකෙන සලකුණක් තබා ඇත.

මෙම විශ්වවිද්‍යාලයේ බොහෝ ශ්‍රේෂ්ඨ විද්වතුන් අධ්‍යාපනය ලබා ඇත. ඔවුන් අතර:

  • 12 වන සියවසේ ප්‍රසිද්ධ දාර්ශනික ඉබ්නු රුෂ්ද්
  • 10 වන සියවසේ දෙවන පොප් සිල්වෙස්ටර්, අරාබි අංක යුරෝපයට හඳුන්වා දීමට දායක වූ බව කියනු ලැබේ.
  • යුදෙව් නීතිය සහ ආචාරධර්ම පිළිබඳ ලේඛන සඳහා ප්‍රසිද්ධ මූසා ඉබ්නු මයිමූන් (මයිමොනයිඩීස්)
  • සමාජ විද්‍යාවේ පියා ලෙස ගෞරව ලබන ඉබ්නු කල්දුන්

මෙලෙස, අල්-කරවිය්යින් විශ්වවිද්‍යාලය සියවස් ගණනාවක් පුරා ඉස්ලාමීය ලෝකයටත් සමස්ත ලෝක ශිෂ්ටාචාරයටත් විශිෂ්ට විද්වතුන් බිහිකළ දැනුමේ ආලෝකස්ථානයක් ලෙස පවතිමින් තිබේ.

 

පරීක්ෂාවන් මුමින්වරයෙකුගේ ඊමානය ශක්තිමත් කරයි

මුඃමින්වරයෙකුට කොතරම් දැඩි පරීක්ෂාවන් පැමිණියත්, ඔහුගේ අල්ලාහ් කෙරෙහි ඇති ඊමානය තවදුරටත් ශක්තිමත් වේ. මන්ද, “ඉවසීම සමඟ ජය ඇත, දුෂ්කරතාවයෙන් පසු පහසුව පැමිණේ” යන සත්‍යය ඔහු ස්ථිරව විශ්වාස කරන බැවිනි.

 

සදකා

දන් දීම (සදකා) අල්ලාහ්ගේ ආදරය සහ තෘප්තිය ලැබීමටත්, මහ්ෂර් දිනයේදී ලැබෙන සෙවණ,  නිරයෙන් මිදීමටත්, රෝග සුව වීමටත්, ධනයෙහි අභිවෘද්ධිය (බරකත්) සහ තවත් බොහෝ යහපත් දේ ලබා ගැනීමටත් ප්‍රමාණවත් වේ.

 

 

Leave A Comment