සලාමා සතිපතා සංග්‍රහය 22

September 10, 2026
22 Views

හසන් අල්-බස්රී (රහිමහුල්ලාහ්) තුමා විසින් උමර් ඉබ්න් අබ්දුල් අසීස් (රහිමහුල්ලාහ්) තුමා වෙත යවන ලද පිළිතුර

කලීෆා උමර් ඉබ්න් අබ්දුල් අසීස් (රහිමහුල්ලාහ්) තුමා හසන් අල්-බස්රී (රහිමහුල්ලාහ්) තුමාගෙන් මෙසේ විමසීය:
“මෙලොව සහ පරලොව ස්වභාවය පිලිබ‍ඳව කෙටියෙන් මට පැහැදිලි කරන්න.”
ඊට පිළිතුරු ලෙස හසන් අල්-බස්රි (රහිමහුල්ලාහ්) තුමා මෙසේ ලියා යැවීය:
“ලෞකික ලෝකය යනු සිහිනයක් වැන්න; පරලොව යනු පිබිදීමක් වැන්න; මරණය යනු ඒ දෙක අතර ඇති තත්වයයි. අපි ජීවත් වන්නේ පටලැවිලි සහිත සිහින තුළය.
තමා පිළිබඳවම විමසා බලන තැනැත්තා ජය ගනී;
තමා පිළිබඳව නොසැලකිලිමත් වන තැනැත්තා පරාජය වේ.
ප්‍රතිඵල ගැන සිතා බලන තැනැත්තා ආරක්‍ෂා වේ;
තම හිතුමතේට කටයුතු කරන තැනැත්තා මංමුළා වේ;
ඉවසිලිවන්ත හා කල්පනාකාරී වන තැනැත්තා ලාභ ලබයි.
අල්ලාහ්ට බිය වන තැනැත්තාට ආරක්‍ෂාව හිමි වේ;
ආදර්ශ ලබාගන්නා තැනැත්තා සත්‍යය දකී;
සත්‍යය දකින තැනැත්තා වටහා ගනී;
වටහා ගන්නා තැනැත්තා දැනුම ලබයි;
දැනුම ලබන තැනැත්තා ඊට අනුව කටයුතු කරයි.
එබැවින් ඔබ අතින් වරදක් සිදුවුවහොත්, වහාම පසුතැවිලි වී නිවැරදි වන්න;
ඔබ පසුතැවෙන්නේ නම්, එම වරද අතහැර දමන්න;
ඔබ යමක් නොදන්නේ නම්, අසා දැනගන්න;
ඔබට කෝපයක් ඇති වුවහොත්, ඔබව පාලනය කරගන්න.”

ඔබේ ශරීරයේ අවයව නිවැරදිව භාවිත කළහොත්..

ජීවනෝපාය (රිස්ක්) වර්ධනය වීමේ එක් හේතුවක් වන්නේ වැඩි වැඩියෙන් සමාව ඇයැදීමයි (ඉස්තිඃෆාර්).
එමෙන්ම, ගෞරවනීය අභිමානයක් ලබාගැනීමේ එක් හේතුවක් වන්නේ අඩුවෙන් කතා කිරීමයි.
තවද, සුන්දරත්වය (ආකර්ෂණීය බව) ලබාගැනීමේ එක් හේතුවක් වන්නේ නිතර සිනාසීමයි.
එබැවින්, සෑම දිනකම ත්‍යාගශීලී වන්න, සුන්දර (ප්‍රසන්න) වන්න, තවද ගෞරවනීය අභිමානවත් පුද්ගලයෙකු වන්න.

සිතා බලන්න: මේ සියල්ලම හිමි වන්නේ ඔබේ ශරීරයේ එකම එක අවයවයක් නිවැරදිව භාවිත කිරීමෙනි. ඒ ඔබේ මුඛයයි. එසේ නම්, තම ශරීරයේ ඇති සෑම ආශීර්වාදයක්ම (නිඃමතයක්ම) හොඳම අයුරින් භාවිත කරන තැනැත්තාගේ තත්වය කෙබඳු විය හැකිද?

(ආචාර්ය අහ්මද් ඊසා අල්-මසරාවි)

සදකා

නබි ﷺ තුමාමෙසේ පැවසූහ: “අල්ලාහ්ගේ සෙවණැල්ල හැර වෙනත් කිසිදු සෙවණැල්ලක් නොමැති මතු දිනක (මහ්ෂර් පිටියේදී), පුද්ගලයින් හත් දෙනෙකුට අල්ලාහ් සිය සෙවණැල්ල ලබා දෙන්නේය. ඔවුන් අතරින් එක් අයෙකු වන්නේ, තම දකුණු අත දෙන දේ වම් අතට පවා නොදැනෙන තරමට ඉතා රහසිගතව දන් දුන් (සදකා කළ) මිනිසාය.”

Leave A Comment