දිව ආරක්ෂා කර ගනු
එක් මිනිසෙක් ඉමාම් අහ්මද් බින් හන්බල් (රහ්) වෙත පැමිණ, තම සිත දැඩි වී ඇතැයි පැමිණිලි කළේය.
ඔහු මෙසේ පැවසීය:
‘මම අල්-කුර්ආනය පාරායනය කරමි; රාත්‍රියට නමස්කාර කරමි; අධික ලෙස උපවාස කරමි. එහෙත් උපදෙස් අසන විට මගේ ඇස්වලින් කඳුළු එන්නේ නැත. මගේ හදවත ගලක් මෙන් වී ඇතැයි මට හැඟේ!’
එවිට ඉමාම්තුමා ඔහු දෙස බලා, ඔහු කිසිසේත් අපේක්ෂා නොකළ ප්‍රශ්නයක් ඇසුවේය:
‘ජනතාව සමඟ ඔබ ඔබේ දිව භාවිතා කරන්නේ කෙසේද?’
ඒ මිනිසා මවිතයට පත්ව මෙසේ පැවසීය:
‘මම ඔබතුමාගෙන් හදවතේ තද ගතිය ගැන අසමි; ඔබතුමා මගෙන් මගේ දිව ගැන අසන්නේ මන්ද?’
ඉන්පසු ඉමාම්තුමා මෙසේ පැවසීය:
‘වචනයක් නිසා කොතරම් හදවත් විනාශ වී තිබේද!
කොතරම් නමස්කාරයන් අපහාස කිරීම නිසා විනාශ වී තිබේද!
කොතරම් දිවවල් ඒවායේ හිමිකරුවන් නරකාදියට ඇද දමා තිබේද!’
පසුව ඔහු මෙසේ පැවසීය:
‘ජීවමාන හදවතක් ඔබට අවශ්‍ය නම්, ඔබේ අතිරේක නමස්කාර වැඩි කිරීමට පෙර, ඔබේ දිව ආරක්ෂා කර ගැනීමෙන් එය ආරම්භ කරන්න.’
නබි (සල්) තුමා මෙසේ පැවසූහ:
‘මිනිසුන්ව ඔවුන්ගේ මුහුණින් බිම හලා නරකාදියට දැමීමට, ඔවුන්ගේ දිව විසින් අස්වැන්න කරගත් දේ හැර වෙන කුමක් හේතු විය හැකිද?’ (මූලාශ්‍රය: තිර්මිදි)
‘ යහපත් වචනයක් පැවසීමද සදකාවකි’ (බුහාරී)
මෙය නබි (සල්) තුමාගේ අනගි වැකියකි. එය අර්ථ රාශියක් දරා සිටී. පවුලේ අය, මිතුරන්, අසල්වැසියන්, නායකයන්, බාලයන්, වැඩිහිටියන්, දිළිඳුන්, ධනපතීන් යනාදී සියලු දෙනා සමඟ අපි ඇසුරු කරන්නෙමු.
ගුණගරුක වචන භාවිත කිරීම, යහපත් මඟ පෙන්වීම් ලබා දීම, ආදරයෙන් කතා කිරීම, ප්‍රාර්ථනා කිරීම, ප්‍රයෝජනවත් කරුණු සාකච්ඡා කිරීම යනාදී බොහෝ කරුණු අපගේ දෛනික ජීවිතයට ප්‍රායෝගිකව අනුගමනය කළ හැකිය.
මේ සියල්ල දානයේ ඵල නෙළා ගැනීමට අපට උපකාරී වනු ඇත.
සදකා
ඔබ අල්ලාහ්ට යහපත් ණයක් ලෙස (ඔහුගේ මාර්ගයේ වියදම් කරමින්) ණය දෙන්නේ නම්, ඔහු එය ඔබට බොහෝ ගුණයකින් වර්ධනය කර දෙනු ඇත; තවද ඔබට සමාව දෙනු ඇත. මන්ද, අල්ලාහ් ඉතා කෘතඥ ගුණැත්තාණන් වන අතර, ඉතා ඉවසිලිවන්තයාණන් ද වේ. (අල්-කුර්ආන් )





