සදාචාරය දුර්වල වීම ඊමානයේ දුර්වලතාව පෙන්නුම් කරයි
ඊමාන් යනු මිනිසා නීච ක්‍රියාවලින් ආරක්ෂා කර, යහපත් ගුණාංග හා උතුම් ක්‍රියා වෙත මඟ පෙන්වන ශක්තියකි. එබැවින්, අල්ලාහ් තම ගැත්තන් යහපතක් වෙත කැඳවන විට සහ අයහපතකින් ඔවුන් වළක්වන විට, ඔවුන්ගේ හදවත් තුළ තැන්පත් වී ඇති ඊමාන් ඊට පදනම ලෙස සඳහන් කරයි.
අල්ලාහ් තම ශුද්ධ වූ අල්කුර්ආනයේ බොහෝ ස්ථානවල “විශ්වාස කළවුනි!” යනුවෙන් තම ගැත්තන් අමතා ඉන් අනතුරුව ඔවුන්ට විවිධ නියෝග හා උපදෙස් ලබා දෙයි.
උදාහරණයක් ලෙස: “විශ්වාස කළවුනි! අල්ලාහ්ට බිය බැතිමත් වන්න. තවද සත්‍යවාදීන් සමඟ සිටින්න.” (අත්තව්බා සූරතය 9:119)
ශක්තිමත් ඊමානය ශක්තිමත් යහපත් චරිතයක් ගොඩනඟයි. සදාචාරය පිරිහීමට හේතුව ඊමාන් දුර්වල වීමයි. ඊමාන් දුර්වල වීමේ ප්‍රමාණය අනුව සදාචාරාත්මක පිරිහීමක් සිදුවන අතර පාපයන් වැඩි වේ.
ලැජ්ජා බියක් නොමැතිව, වැරදි හැසිරීම්වල නිරත වෙමින්, අන් අය ගැන කිසිදු තැකීමක් නොකර අයහපත් ක්‍රියාවන්හි යෙදෙන පුද්ගලයෙකු සම්බන්ධයෙන් අල්ලාහ්ගේ දූතයාණෝ (සල්) මෙසේ ප්‍රකාශ කළහ:
“ලැජ්ජාශීලී බව සහ ඊමානය එකිනෙකට බැඳී පවතින දෙකකි. ඒ දෙකෙන් එකක් ඉවත් වූ විට අනෙකද ඉවත් වේ.” (අල්-හාකිම්, අත්-තබරානී)
තම අසල්වැසියන්ට හිංසා පීඩා කරන සහ ඔවුන් පිළිබඳව අයහපත් දේ කතා කරන පුද්ගලයන් ඉස්ලාමය දැඩි ලෙස හෙළා දකියි. එවැනි පුද්ගලයෙකු පිළිබඳව නබි මුහම්මද් (සල්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ:
“අල්ලාහ් මත දිවුරා පවසමි! ඔහු විශ්වාසවන්තයෙකු නොවේ. අල්ලාහ් මත දිවුරා පවසමි! ඔහු විශ්වාසවන්තයෙකු නොවේ. අල්ලාහ් මත දිවුරා පවසමි! ඔහු විශ්වාසවන්තයෙකු නොවේ.”
එවිට සහාබාවරු, “අල්ලාහ්ගේ දූතයාණනි! ඒ පුද්ගලයා කවුරුන්ද?” යනුවෙන් විමසූහ.
ඊට නබි (සල්) තුමා, ‘කාගේ නපුරෙන් ඔහුගේ අසල්වැසියාට ආරක්ෂාව නොලැබේද, ඔහුය!’ යැයි පැවසූහ.
තවද, නිෂ්ඵල කතාබහ, අර්ථ විරහිත සංවාද සහ අනවශ්‍ය කතාබහවලින් වැළකී සිටීමට තම සහාබාවරුන්ට උපදෙස් ලබා දෙමින් නබිතුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ:
“කවරෙකු අල්ලාහ් සහ අවසාන දිනය විශ්වාස කරන්නේද, ඔහු යහපත් දෙයක් කතා කළ යුතුය. නැතහොත් නිහඬව සිටිය යුතුය.”
එබැවින් සැබෑ ඊමානය යනු හදවත තුළ පමණක් පවතින දෙයක් නොවේ. එය පුද්ගලයෙකුගේ සදාචාරය, කථාව, හැසිරීම සහ අන් අය සමඟ පවත්වන සම්බන්ධතා තුළද පැහැදිලිව පිළිබිඹු විය යුතුය.
සදකා
නබිතුමා ﷺ මෙසේ පැවසූහ:
“යමෙක් අවංක ලෙස උපයාගත් දෙයකින් රට ඉඳි ගෙඩියක වටිනාකමට සමාන දෙයක් දන් දුන් විට, අල්ලාහ් එය තම දකුණතින් පිළිගෙන, එය දන් දුන් තැනැත්තා වෙනුවෙන් (එම කුසලෙහි වටිනාකම) වර්ධනය කරනු ඇත. අවසානයේ එය කන්දක් තරම් විශාල වන තෙක්ම.””





