ශුද්ධ වූ කඃබාවේ මහිමය
මක්කා නගරයෙහි පිහිටා ඇති ශුද්ධ වූ කඃබාව යනු ලොව ප්‍රථමයෙන්ම ඉදි කරන ලද මන්දිරයයි. එය නබිවරුන් ජීවත් වූ භූමියක් වන අතර, අල්ලාහ්ගේ මඟපෙන්වීම් සහ දේව පණිවිඩ (වහී) පහළ වූ අති පූජනීය ස්ථානයකි. ශුද්ධ වූ ක:බාව නබි ඉබ්‍රාහීම් (අලෛහිස්සලාම්) තුමාණන් විසින් සිය පවුලේ උදවියගේ සහය ද ඇතිව ප්‍රතිසංස්කරණය කරන ලද හෙයින් හජ් වන්දනාවේදී නබි ඉබ්‍රාහීම් (අලෛහිස්සලාම්) තුමාණන්ගේ පවුලේ උදවියගේ කැපවීම විශේෂයෙන් සිහිපත් කිරිමකට ලක් කෙරේ.
ක:බාව මොලොව සෑම මොහොතකම පාසා ජීවමානව පවතින එකම ස්ථානය ලෙස සැලකේ. ඒ බව සංඛ්‍යාලේඛන පිළිබඳ පොදු අධිකාරිය (General Authority for Statistics) නිකුත් කළ පහත දත්ත වලට අනුව සනාථ වේ,
- සෑම පැයකදීම 278,000ක් පමණ පිරිසක් නැමදුම්වල (සලාතයෙහි) නිරත වෙති.
- 107,000ක් පමණ පිරිසක් කඃබාව වටා තවාෆ් කරති.
- මස්ජිදුල් හරාම් යනු එකම අවස්ථාවකදී මිලියන 3.5 ක (ලක්ෂ 35ක) පමණ පිරිසකට නැමදුම් කළ හැකි ඉඩකඩ සහිත මහා පල්ලියකි.
නොසිඳෙන ආශ්චර්යමත් ළිඳ
සම්සම් ළිඳ යනු පෘථිවියේ ඇති පැරණිතම, පිරිසිදුම සහ අතිශය ශුද්ධ වූ ආශිර්වාද ලත් ජලයක් ලෙස සැලකෙන ආශ්චර්යයකි. මෙය අල්ලාහ් විසින් ඉස්මාඊල් (අලෙයිහිස්සලාම්) තුමාණන්ට සහ එතුමාණන්ගේ මෑණියන් වන හාජර් තුමියට පිරිනමන ලද විශේෂ දායාදයකි. ආත්මීය විමුක්තිය මෙන්ම ශාරීරික සෞඛ්‍යමය ප්‍රතිලාභ වැනි සුවිශේෂී ගුණයක් සම්සම් ළිඳ සතුව පවතී.
මෙම දිය උල්පත කඃබාවේ සිට මීටර 21ක් දුරින් පිහිටා ඇත. පර්යේෂණවලට අනුව මීටර 30ක් ගැඹුරු සම්සම් ළිඳේ උල්පත්වලින් තත්පරයකට ලීටර් 11 සිට 18.5 දක්වා ජල ප්‍රමාණයක් පිටවන බව සොයාගෙන ඇත.
සම්සම් ජලය පිරිසිදුය, පැහැදිලිය, පූජනීයය. මෙයට වර්ණයක් හෝ ගන්ධයක් නොමැත. එහි කිසිදු විෂබීජයක් නොමැති බව ඒ පිළිබඳව කරන ලද විද්‍යාත්මක පර්යේෂණ, රසායනික පරීක්ෂණ සහ පාරජම්බුල කිරණ (Ultraviolet) මගින් කරන ලද පරීක්ෂණවලින් තහවුරු වී ඇත.
ශ්‍රේෂ්ඨත්වය පිරි අරෆා දිනය
දුල්හිජ්ජා මස 9 වන දින යනු ලෝක දින අතුරින් අතිශය ශ්‍රේෂ්ඨතම දිනයයි. එය අරෆා දිනයයි. විශේෂයෙන්ම අල්ලාහ්, මෙම සුබ දිනය ප්‍රාර්ථනාවන් (දුආ) සඳහාම වෙන් කර ඇත.
අරෆා පිටියේ රැඳී සිටින හාජිවරුන්ගේ පව්වලට අල්ලාහ් සමාව දෙයි. හජ් වන්දනාවට නොගොස් මෙම දිනයේ උපවාසයේ යෙදෙන්නන්ගේ වසර දෙකක පව් අල්ලාහ් සමා කරයි. මෙය අල්ලාහ්‌ගේ ශ්‍රේෂ්ඨ කරුණාවන්ත ගුණය සහ කෙතරම් දුරට අප හට ඔහු ආදරය දක්වනවාද යන්න විදහා දක්වන්නේය.
අරෆා දිනය යනු අල්ලාහ් විසින් නිරයේ සිටින විශාල පිරිසකට නිදහස ලබා දෙන දිනයකි. තවද අල්ලාහ් ඉස්ලාම් දහම සම්පූර්ණ කරන ලද්දේද මෙම උතුම් වූ දිනයේදීමය.




