සලාමා සතිපතා සංග්‍රහය 19

August 21, 2026
116 Views

නව ආලෝක කිරණක්… තැන්පත් සිතින් සිතා බැලීමට!

රාත්‍රිය නිහඬව හා නිශ්ශබ්දව ගෙවී යයි. පසුව අලුත් බලාපොරොත්තුවක් සමඟින් අරුණෝදය උදා වෙයි.

අල්ලාහ් මෙසේ පවසයි: “හිරුට සඳ අභිබවා යා නොහැක, එසේම රාත්‍රියට දහවල පසුවිය නොහැක. සෑම දෙයක්ම තම තමන්ගේ කක්ෂයන්හි පාවෙමින් පවතී.” (යාසීන්: 40)

සෑම අලුත් අරුණෝදයක් සමඟම, මිනිසාට අලුත් අවස්ථාවක් හිමිවෙයි. බලාපොරොත්තු අලුත් වෙයි; ජීවිතයේ හුස්ම අලුත් වෙයි; හදවතේ ගැස්ම ඉදිරියටම යයි.

සෑම උදෑසනකම අල්ලාහ් නිහඬව අපට මෙසේ පවසයි:

  • ඊයේ සිදු වූ අසාර්ථකත්වයන් ළඟ නතර නොවන්න.
  • අතීතයේ දුක් කම්කටොලු තුළ ගිලී නොයන්න.
  • අද අලුත් දවසකි.
  • අලුත් යහපත් ක්‍රියා ආරම්භ කිරීමට ලැබුණු අලුත් අවස්ථාවකි.

අපට නැවත නැවතත් අරුණෝදය පෙන්වා දෙන අල්ලාහ්, කිසිවිටෙකත් බලාපොරොත්තු අතනොහැරීමට අපට උගන්වයි.

එබැවින්, සෑම දිනක්ම අල්ලාහ් වෙත තවත් ළඟා වන දිනයක් බවට පත් කර ගනිමු. අපගේ කාලය හා ශක්තිය යහපත් ක්‍රියා සඳහා වැය කරමු. මිනිසුන්ට යහපතක් කරමු. අල්ලාහ් සිහිපත් කිරීමෙන් (දික්ර් කිරීමෙන්) අපගේ හදවත් සුවපත් කර ගනිමු.

 

යහපත් චේතනාවෙන් (නිය්යතයෙන්) සාමාන්‍ය ක්‍රියාවන් පවා නැමදුම් බවට පත්වේ

‘මගේ අධ්‍යාපනය සෙවීමේ අරමුණ අල්ලාහ්ගේ අණට කීකරු වීමයි’ යන චේතනාව ඔබ ඇති කර ගන්නේ නම්, එම අධ්‍යාපනය සෙවීමේදී ඔබ කරන සෑම ක්‍රියාවක්ම නැමදුමක් බවට පත්වෙයි.

පාඩමක් නැවත මතක් කිරීම නැමදුමක් බවට පත්වේ. පාඩම් මතක තබා ගැනීම නැමදුමක් බවට පත්වේ. අධ්‍යාපනය ලබා ගැනීමට ඇවිදගෙන යාම පවා නැමදුමක් බවට පත්වේ.

නබි (සල්) තුමා මෙසේ පැවසූහ: “කෙනෙකු අධ්‍යාපනය සොයා මාර්ගයක ගමන් කරන්නේ නම්, අල්ලාහ් ඔහුට ස්වර්ගයට යන මාර්ගය පහසු කර දෙයි.”

මෙම සත්‍යය අපගෙන් බොහොමයක් දෙනාට නිතරම අමතක වී යයි. අපි යම් කරුණක් තේරුම් ගැනීමට පොත්පත් කියවමු, පර්යේෂණ කරමු; නමුත් ඒ මොහොතේ අප නිරත වී සිටින්නේ අල්ලාහ්ගේ කුලිය (ප්‍රතිඵලය) පතන නැමදුමක ය යන සිහිය අප තුළ නොමැත.

නමුත්, අධ්‍යාපනය ලබන්නෙකුගේ හදවතේ ‘මා අධ්‍යාපනය ලබන්නේ අල්ලාහ්ගේ අණට කීකරු වීමටයි’ යන හැඟීම තිබේ නම්, ඔහුගේ මුළු අධ්‍යාපන ගමනම නැමදුමක් බවට පත්වෙයි.

 

අසාන් දුආව පවසා ෂෆාඅත් (මැදිහත් වීම) ලබා ගනිමු

අදාන් අවසන් වූ පසු, පහත සඳහන් දුආව පවසන්න:

اللَّهُمَّ رَبَّ هَذِهِ الدَّعْوَةِ التَّامَّةِ وَالصَّلَاةِ الْقَائِمَةِ آتِ مُحَمَّدًا الْوَسِيلَةَ وَالْفَضِيلَةَ وَابْعَثْهُ مَقَامًا مَحْمُودًا الَّذِي وَعَدْتَهُ

(ඕ අල්ලාහ්! මෙම සම්පූර්ණ කැඳවීමේ සහ ඉටුකිරීමට නියමිත නැමදුමේ හිමිකරුවාණෙනි, මුහම්මද් (සල්) තුමාට ‘වසීලාව’ (ස්වර්ගයේ උසස්ම ස්ථානය) සහ ශ්‍රේෂ්ඨත්වය ප්‍රදානය කළ මැනව. තවද ඔබ එතුමාට පොරොන්දු වූ ප්‍රශංසනීය ස්ථානයට එතුමාව ඔසවා තැබුව මැනව.)

මෙය පැවසීමෙන්, විනිශ්චය දිනයේදී නබි (සල්) තුමාගේ මැදිහත්වීමේ වරප්‍රසාදය ලබා ගැනීමට කෙනෙකුට අවස්ථාව හිමිවෙයි.

එය කෙතරම් විශාල ආශීර්වාදයක්ද! මෙම අවස්ථාව දිනකට පස් වතාවක් අපට ලැබෙයි—එයින් ප්‍රයෝජන නොගන්නේ මන්ද?

 

සදකා

නබි ﷺ තුමා මෙසේ පැවසූහ: “නියත වශයෙන්ම, සදකා (දන් දීම) ලබා දෙන්නාට එය සොහොන් ගෙයි රස්නය අඩු කර සිසිල් කරයි. තවද, විනිශ්චය දිනයේදී විශ්වාසවන්තයා (මුඃමින්) තමන් දුන් සදකාවේ සෙවන යට සෙවන ලබනු ඇත.”

 

Leave A Comment