ඉමාම් අබූ හනීෆා (රහ්) – උතුම් පෙනුමට ප්‍රිය කළ ඉමාම්වරයා
ඉමාම් අබූ හනීෆා තුමා, තමන් යටතේ අධ්‍යාපනය ලබන සිසුන් සහ මිතුරන් ගෞරවනීය පෙනුමකින් සිටීම බෙහෙවින් කැමති වූවෙකි. විශේෂයෙන්, ඔහු සලාතය සඳහා සූදානම් වන විට, තමන් සතු හොඳම ඇඳුම් ඇඳ, සුවඳ විලවුන් ගල්වා ගත්තේය. ‘මම විශ්වය මැවූ අල්ලාහ් ඉදිරියේ සිටීමට යන්නෙමි’ යන්න ඔහුගේ එම ක්‍රියාවට හේතුව විය.
දිනක්, තමන් අසල වාඩිවී සිටි මිනිසෙකු ඉතා ඉරුණු, ගරාවැටුණු ඇඳුමකින් සිටිනු ඔහු දුටුවේය. වහාම ඔහු රහසින් දිර්හම් දහසක් ඔහුගේ අතට දී, ‘මෙයින් ඔබේ ඇඳුම් හා පෙනුම පිළිසකර කරගන්න’ යැයි මෘදු හඬින් පැවසීය.
එවිට ඒ මිනිසා, ‘මට ප්‍රමාණවත් වත්කම් තිබේ, මට මෙය අවශ්‍ය නැත. ලෞකික සැප සම්පත් අත්හැර ජීවත් වීමටයි (සුහ්ද්) මම මෙවැනි ඇඳුමක් අඳින්නේ’ යැයි කීය.
එවිට ඉමාම් තුමා ඔහුගෙන් මෙසේ ඇසීය:
‘නියත වශයෙන්ම අල්ලාහ්, තමා සේවකයෙකුට ලබා දුන් ආශිර්වාදයේ සලකුණ ඒ සේවකයා තුළින් දැකීමට කැමති වේ’ යන නබි වදන ඔබ දන්නේ නැද්ද?’ (තිර්මිදි).
කඃබාවේ යතුර දරන පවුල
ඔවුන් ‘බනූ ෂයිබා’ නමින් හඳුන්වන පවුලට අයත් අය වෙති. කඃබාවේ යතුර ආරක්ෂා කිරීම හා ඒ සඳහා වගකීම දැරීම ඔවුන් සතුය.
ඉස්ලාමය පහළ වීමට පෙර සිටම, එනම් සියවස් 16කට අධික කාලයක සිට කුසයි ඉබ්නු කිලාබ්ගේ පරම්පරාවට කඃබාවේ සේවය කිරීමේ අයිතිය ලබා දී තිබුණි. එම පෙළපතින් අදත් ‘ආල් ෂයිබි’ පවුලේ අය කඃබාවේ භාරකරුවන් ලෙස සිටිති.
කඃබාව විවෘත කිරීම, වැසීම, එය සේදීම වැනි සියලු කටයුතු ඔවුන්ගේ වගකීම වේ.
මෙම වගකීම නබි මුහම්මද් (සල්) තුමාණන්ගේ කාලයේදීම තහවුරු කරන ලදී. බනූ ෂයිබා පවුල සහාබි උස්මාන් ඉබ්නු තල්හා (රළි) තුමාගේ පරම්පරාව වේ.
මක්කාව නැවත අත්පත් කරගත් දිනයේ නබි මුහම්මද් (සල්) තුමා කඃබාවේ යතුර ඔහුට ලබා දී, ‘එය ගන්න, ඕ තල්හාගේ පවුලේ අය! මෙය කියාමත් දිනය දක්වා ඔබලා සතුවම පවතිනු ඇත’ යැයි පැවසූහ.
අල්ලාහ් වෙත හැරී එන්න
(وَأَنِيبُوا إِلَى رَبِّكُمْ وَأَسْلِمُوا لَهُ)
‘ඔබේ පරමාධිපති වෙත හැරී එන්න; ඔහුට සම්පූර්ණයෙන්ම යටත් වන්න’ (සුමර්: 54) එනම්: ඔබේ හදවත් වලින් හා ඔබේ ක්‍රියාවන්ගෙන් අල්ලාහ් වෙත හැරෙන්න. අල්ලාහ්ගේ කරුණාව, දයාව පිළිබඳ බලාපොරොත්තු අත් නොහරින්න. නියත වශයෙන්ම අල්ලාහ් සියලු පාපයන්ට සමාව දෙයි.




