අල් කුර්ආනය හදවත් තුළ ජීවත් වේවා
අල් කුර්ආනය හදවත් ආලෝකමත් කරයි. එය මානසික කනස්සල්ල දුරු කරයි. මානසික රෝග සඳහා සහනයක් ලබා දෙයි. ජීවිතයේ සෑම අංශයකටම මග පෙන්වයි. එබැවින් අප සහ අල් කුර්ආනය අතර ඇති සබඳතාවය ශක්තිමත් විය යුතුය.
අපි එය දිනපතා පාරායනය කරමු, එහි අර්ථයන් වටහා ගනිමු. එහි ඉගැන්වීම් අපගේ ජීවිතයට එකතු කර ගනිමු.
සලෆුස් සාලිහීන්වරුන්ගේ ජීවිත තුළ පැවති ඉහ්ලාස්
දිනක් ෆුළෙයිල් ඉබ්නු ඉයාළ් (රහ්) සහ සුෆ්යාන් අස්-සව්රි (රහ්) යන දෙපළ හමුවූහ. ඔවුන් දෙදෙනා එක්ව හිඳ, චිත්ත පාරිශද්ධත්වය සහ මතු ලොව පිළිබඳ කරුණු සාකච්ඡා කළහ. ඔවුන්ගේ හදවත් කෙතරම් මෘදු වූයේද යත් දෙදෙනාම හඬන්නට වූහ.
එවිට ෆුළෙයිල් ඉබ්නු ඉයාළ් (රහ්) තුමා මෙසේ පැවසූහ: “අබු අබ්දුල්ලාහ් (සුෆ්යාන්) අපගේ මෙම ක්‍රියාව අපට විශාල හානියක් කරයිදෝ කියා මම බිය වෙමි. අපි දෙදෙනාම අප සතු හොඳම දේ ඛෙදා ගත්තෙමු. එසේ වුවද, මෙයට ප්‍රශංසාව සහ මූනිච්ඡාව මිශ්‍ර වී ඇත්දැයි මම බිය වෙමි.”
මෙය ඇසූ සුෆ්යාන් අස්-සව්රි (රහ්) තුමා හඬමින් මෙසේ පැවසූහ: “ඔබ මට සත්‍යය වටහා දී මගේ හදවතට පණ ලබා දුන්නෙහිය. අල්ලාහ් ඔබගේ හදවතද සැමදා ජීවමානව තබත්වා.”
අල්ලාහ්ගේ තෘප්තිය ලබා දෙන දික්ර්
අපි සෑම විටම අල්ලාහ්ව තෘප්තිමත් කිරීම ගැන කතා කරන්නෙමු. නමුත් මතු ලොවෙහිදී අල්ලාහ් විසින් ඇතැම් මිනිසුන්ව තෘප්තිමත් කරන බව ඔබ දන්නවාද? නබි ﷺ තුමාණන් මෙසේ පැවසූහ. “කවරෙකු උදෑසන සහ සවස් කාලයේ තුන් වරක් මෙසේ පවසන්නේද
رضيت بالله رباً، وبالإسلام ديناً، وبمحمد ﷺ نبياً
(අල්ලාහ් මගේ දෙවියන් ලෙසද, ඉස්ලාමය මගේ දහම ලෙසද, මුහම්මද් ﷺ තුමාණන් මගේ නබිවරයා ලෙසද මම කැමැත්තෙන් පිළිගත්තෙමි) ඔහුව මතු ලොවෙහිදී තෘප්තිමත් කිරීම අල්ලාහ් කෙරෙහි අනිවාර්ය වූවකි.” (මිෂ්කාත් අල්-මසාබීහ් 2399)
මෙම වචන තුන් වරක් පැවසීමට ගත වන්නේ විනාඩි දෙකකටත් අඩු කාලයකි නමුත් එහි බලපෑම මතු ලොව දක්වා පවතිනු ඇත. එබැවින් මෙය අපගේ දෛනික පුරුද්දක් බවට පත් කර ගනිමු.
නමුත් සැලකිය යුතු කරුණක්…
දවස පුරා අල්ලාහ්ගේ අණපනත් නොසලකා හරිමින්, හුදෙක් මෙම වචන පමණක් පාරායනය කිරීමෙන් ඵලක් නැත. අප කරන යහක්‍රියාවන් අල්ලාහ් වෙනුවෙන්ම ඉටු කරමින්, ඔහුට අවංකව අවනත වී, අපගේ පාපයන්ට සමාව අයදිමින් මෙම දික්ර් හි නියැලීමෙන් අපට අල්ලාහ්ගේ සැබෑ තෘප්තිය ලබා ගත හැකිය.
මතු ලොවෙහිදී අල්ලාහ් විසින් තෘප්තිමත් කරනු ලබන එA උතුම් මිනිසුන් අතරට අපව ද ඇතුළත් කරත්වා. ආමීන්.




